ගිනි නැවේ 22ක් මුදවා ගැනේ - නාවිකයෙකු මරුට - ගුවනින් සහ මුහුදෙන් මෙහෙයුම් (PHOTOs)

  පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය සඳහා නාවික වේග ප්‍රහාරක යාත්‍රා ඇතුළු නෞකා රැසක් සහ ඉන්දියානු නෞකාවක් මෙන්ම ගුවන්...

 


පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය සඳහා නාවික වේග ප්‍රහාරක යාත්‍රා ඇතුළු නෞකා රැසක් සහ ඉන්දියානු නෞකාවක් මෙන්ම ගුවන් යාත්‍රා රැසක් ද යොදවා තිබෙනවා.

එම තත්වයන් සම්බන්ධයෙන්  නාවික හමුදාව අද උදාසන මාධ්‍ය වෙත කරුණු වාර්තා කළා.


ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක ඊයේ (2020 සැප්තැම්බර් 03)  උදෑසන 08.00 ට පමණ සිදුවූ පිපිරුමක් සමඟ ගින්න හටගෙන තිබුණා.


ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් නාවික හමුදාව, ගුවන් හමුදාව,  වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව මෙහෙයුමක නිරතවනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් ඊයේ ක්‍රියාත්මක කළා.



බීච් ක්‍රාෆ්ට් යානාවක් මගින් වරින් වර ගුවනින් නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි.

එමෙන්ම ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම ආපදා තත්වය ගුවනින් නිරීක්‍ෂණය සඳහා එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මෙම ආපදා තත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට දායකත්වය සපයයි.



ඊයේ සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසලට ලඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක සෞර්යා (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව, ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම ආරම්භ කළා. 



එමෙන්ම අද අළුයම් කාලය වන විට හම්බන්තොට වරායෙන් පිටත් වූ රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දෙක අළුයම 0100 ට සහ  0300 ටත්, ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger යන ටග් යාත්‍රාවක් අළුයම 0200 ටත් මෙහෙයුමට එක්ව තිබෙනවා.

මේ අතර අද අළුයම 0200 ට පමණ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ශෙහාද්‍රි (INS Sahyadry) නෞකාවද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුමට එක්වූවා.

තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා දෙකක් අද  දහවල් කාලය වන විට මෙම මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතයි.

ආපදා සහන මෙහෙයුම සඳහා සහභාගී වූ රුසියානු නෞකා දෙක ඊයේ (03) සවස් භාගයේදී එම මුහුදු ප්‍රදේශයෙන්  පිටත්ව ‍ගියා.

එමෙන්ම හෙලන් එම් (Helen M) වෙළඳ නෞකාවේ රැදී සිටි ආපදාවට පත් ‍නෞකාවේ කාර්යමණ්ඩලයේ 19 දෙනා ඇතළුව 21 දෙනෙකු මේ වන විට නාවික හමුදා නෞකා‍ වෙත රැගෙන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා තිබෙනවා.



තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල ට  ඇතුලත්  කෙරුණා.

ඒ අනුව, 23 ක් වූ අනතුරට පත් නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූවා.



නෞකාවේ කාර්මණ්ඩලයේ සිටි පිලිපීන ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී තිබෙනවා.

නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට කිසිදු බලපෑමක් සිදු වී නැහැ.



ගින්න බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා  සහන සේවා පියවර ගනිමින් සිටී. 

එමෙන්ම මෙම ආපදා තත්වය හේතු කරගෙන එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් ඇති වී නොමැති බවයි නාවික හමුදාව සඳහන් කළේ.



තෙල් කාන්දු වීමේ තත්වයක් ඇති වුවහොත්, එයින් සිදු වන හානිය අවම කිරීමට හා එ‍මගින් ඇතිවිය හැකි තත්වයන් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය,  ඇතුළු පාර්ශව පියවර ගනිමින්  සිටී.



ආපදාවට පත් බොරතෙල් නෞකාව අද උදෑසන 05.00  වන විට ආසන්නම ගොඩබිම සිට නාවික සැතපුම් 25 ක් (දල වශයෙන් 50 km) පමණ දුරකින් ස්ථානගතව තිබෙනවා.

එම ප්‍රදේශයේ  ගැඹුරු මීටර් 3100ක්.



අද උදෑසන 05.30 වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා තුනක්, වේග ප්‍රහාරක යාත්‍රා දෙකක්, ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක්, ඉන්දීය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා තුනක් ආපදාවට ලක් වූ නෞකාව සමීපයේ කටයුතු කරමින් සිටියා.

අද 05.30 පමණ සිට ගුවන් මගින් ද ගිනි නිවන කටයුතු නැවත ආරම්කර තිබෙනවා.



ආපදාවට ලක් වූ නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කළාපය (Super structure) තවමත් ගිනිගන්නා අතර එය නෞකාවේ බොරතෙල් ගබඩා කර ඇති කළාපයට බලපෑමක් ඇති කර නැහැ.



නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මගින් සිදු කරනු ලැබෙයි.




Related

Trending 1994347264067939782
item