කුසලතාවට ප්‍රමුඛතාව - දරුවන් ක්‍රීඩා පාසල්වලට (PHOTOs)

ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට පියවර ගන්නා  බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ම...



ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට පියවර ගන්නා  බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

වයස අවුරුදු 06 සිට අවුරුදු 19ක් වනතුරු ක්‍රීඩකයෙක් බිහිකිරීම සඳහා පාසල දායකත්වය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සිසුන්ගේ ක්‍රීඩා හැකියාවන් හඳුනාගනිමින් ඒවා සංවර්ධනය කිරීමේ වගකීම පාසලට පැවරෙන බවත් සඳහන් කළා.

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නොව සිසුදරුවන් ක්‍රීඩාවේ දක්වන දක්ෂතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවැත්වුණා.

ඒ ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන දුන් පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සිවුදෙනෙකු ද සමගයි.

එම සිසුදරුවන්ට ක්‍රීඩා කුසලතා දියුණු කරගැනීම සඳහා අවස්ථාව ලබාදීම හමුවේ අරමුණයි.



ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් වඩාත් සංවර්ධනය කරගනිමින් අධ්‍යාපනය හැදෑරීමට ක්‍රීඩා පාසලක් වෙත යොමුවීමට මෙතෙක් අවස්ථාව ලැබී තිබුණේ නැහැ.

එම දරුවන් සිවුදෙනා බටේමුල්ල ජාතික පාසලට යොමු කළ අතර, එහි විදුහල්පති ඒ.ඩබ්ලිව්.ඩබ්ලිව්. කරුණාසිංහ මහතා ද, ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ද සමඟ සාකච්ඡාකර, දරුවන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් වැඩසටහනක් ද සකස් කර තිබෙනවා.


ඉන්දීය විවෘත කරාතේ තරගාවලියට සහභාගී ව ජයග්‍රහණ ලබාගත්තේ දෙසිඳු සමරතුංග, හිරුන් ජයවර්ධන, මලිත මධුෂාන්කේ සහ කේෂර බුද්ධිමාල් විසින්.

රුවන් නිශ්ශංක මහතා දරුවන්ගේ  පුහුණුකරුයි.

 



මෙම හමුවට  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන, ජාතික පාසල් අධ්‍යක්ෂ කේ.එල් ජී කිත්සිරි, ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉෂානි වෙත්තසිංහ යන මහත්මමහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related

Sports 1772846201178353844
item