මධ්‍යම සහ නැගෙනහිර උපකාරක පන්ති අත්හිටුවයි

මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවා තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ නියෝග අනුවයි. මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ග...

මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.

ඒ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ නියෝග අනුවයි.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා  සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්  මහත්මිය  විසින් බලධාරීන්ට මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව අද රැස්වුණේ  මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී. 

කොවිඩ් 19 වසංගත තත්වය යළි හිස එසවීම සම්බන්ධයෙන් මෙහිදී ‍ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වු අතර, මධ්‍යම පළාත වසංගත තත්වයෙන් ආරක්ෂා කරගැනීම සදහා අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසත්, සෞඛ්‍ය අංශ විසින් ලබාදෙනු ලබන උපදෙස් පිළිනොපදින්නන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙහිදී ආණ්ඩුකාරවරයා උපදෙස් දුන්නා.

පවතින වසංගත තත්වය හමුවේ අමතර පංති පැවැත්වීමේ අවධානම සෞඛ්‍ය අංශ ‍විසින් පෙන්වා දීමත් සමග එම මොහොතේම ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාත තුල අමතර පංති තාවකාලිකව තහනමට ලක් කිරීමට පියවර ගත්තා. ‍

කොවිඩ් 19 වසංගත තත්වවේ පළමු අදියර මැඩලීමට හැකියාව ලැබුනේ ජනතාව තම වගකීම් නිසිපරිදි ඉටුකරමින් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සදහා සහයෝගය ලබාදෙමින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිත කිරීම හේතුවෙන් බවත් ‍නැවත හිස ඔසවමින් තිබෙන කොවිඩ් වසංගත තත්වය යළි මැඩලීමට හැකිවන්නේ නැවතත් ජනතාව තම වගකීම වටහගෙන කටයුතු කිරීමෙන් පමණක් බව මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්.පතිනායක යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාවන් , මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නියෝජනයෙන් මෙම ආරක්ෂක කමිටු සාකච්ඡාව පැවැත්වුණා.

Related

Local 3890904182694586255
item