අභිනව නාවික හමුදාපති ජනපති බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15 ) ජනාධිපති...


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.
එහිදී අතිගරු ජනාධිපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ජනාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් සමඟ පැවැති පළමු නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදි. 
================
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද  (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2020 ජුලි 15) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.  

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, පාසැල් ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සිය නායකත්ව හැකියාවන් ප්‍රදර්ශනය කර ඇති ඔහු පාසැල් ශිෂ්‍යභට අනුඛණ්ඩයේ සාමාජිකයෙක් ලෙසද හර්මන්ලූස් කුසලානය දෙවරක් දිනාගැනීම‍‍‍ට සමත් වූ ශීෂ්‍යභට අනුඛණ්ඩය නියෝජනය කර ඇත. 1985 වර්ෂයේ 13 වන ශීෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිළධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක් වූ ඔහු සිය මූලික පුහුණුව ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යපීඨයෙන් ලබා ගැනීමෙන් අනතුරුව, 1987 වර්ෂයේ ජනවාරි 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වී එතැන්සිට ක්‍රමාණුකූලව උසස්වීම් ලබමින් 2015 ජුලි 01 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වන ලදි. වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අවි කටයුතු සහ මිසයිල පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදා යාත්‍රාවන්ට මිසයිල තාක්‍ෂණය හඳුන්වාදුන් පුරෝගාමි කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ. එතුමන් සිය 35 වසරකට අධික නාවික දිවිය තුළදී විවිධ නෞකා හා යාත්‍රාවල මෙන්ම ආයතනවලද  රාජකාරී සිදු කර ඇත.
මානුෂීය මෙහෙයුම අවසාන වීමත් සමග වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වසර තුනකට අධික කාලයක් අධ්‍යක්‍ෂ නාවික බුද්ධි වශයෙන් කටයුතු කර ඇති අතර, එම කාලයේදී මුහුදු මාර්ගයෙන් සිදු කළ මිනිස් ජාවාරම් කටයුතු මුළුමනින්ම නැවැත්වීමට ද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සීමා කිරීමටද  හැකිවිය. තවද, එතුමන් අධ්‍යක්‍ෂ නාවික අවි, අධ්‍යක්‍ෂ ජෙනරාල් (සේවා), ආඥාපති දකුණු නාවික පෙදෙස, ආඥාපති බටහිර නාවික පෙදෙස, ආඥාපති ස්වේච්ඡා නාවික හමුදාව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නියෝජ්‍ය අඥාපති (උතුර) යනාදි තනතුරු රාශියක් හෙබවූ අතර, 2019 මැයි 04 වන දින නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්විය.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලයෙන්, ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් ව්ශ්ව විද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ත්‍රිත්වයකට හිමිකම් කියනු ලබයි. ඔහු එක්සත් රාජධානියේ ඒකාබද්ධ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරමින් එහිදී ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත. තවද ඔහු ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථියෙක් වන අතර, එම විද්‍යාලයෙන් ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යනය සම්බන්ධ දර්ශනපති උපාධිය ලබා‍ ගෙන ඇත. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හාවායි හි පිහිටි ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ආසියාෆැසිපික් මධ්‍යස්තානයෙන් ත්‍රස්තවාදයට එරෙහි පූර්ණ ආරක්‍ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  පුළුල් ලෙස හදාරා ඇත.
තවද, අතිගරු ජනාධිපති තුමන් විසින් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සතුරා ඉදිරියේ විදහා පෑ රනශූරත්වය වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් පිරිනමා ඇති අතර, ආදර්ශවත් විශිෂ්ඨ චරිතය සඳහා විශිෂ්ඨ සේවා විභූෂණයෙන් සහ උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. තවද මව්බිමේ නිදහස වෙනුවෙන් සක්‍රිය සේවයේ යෙදී සිටියදී සිදු වූ තුවාල හේතුවෙන් දේශපුත්‍ර පදක්කම සහ මව්බිමේ නිදහස වෙනුවෙන් සිදු කළ දායකත්වය සඳහා සේවා පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇති එතුමන් නාවික හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති වශයෙන් ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධිය උදෙසා විශාල දායකත්වයක් ලබා දී ඇත.
ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සිය නාවික හමුදාධිපති ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, චන්දිමා  මැතිනිය සහ දියණිය සමාධිනි ද සහභාගි වී සිටියහ. එමෙන්ම, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, ධජ නිලධාරී නාවික දියත් විධානය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Related

Top 1420870473540026685

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item