මැතිවරණ පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද නියෝගය හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 වෙනිදාට නියම කෙරුණු පාර්ලිමේන්තු මැතිවරණය අභියෝගයට ලක් කෙරෙමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් සළකාබැ...


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 වෙනිදාට නියම කෙරුණු පාර්ලිමේන්තු මැතිවරණය අභියෝගයට ලක් කෙරෙමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් සළකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද අවසන් ව තිබෙනවා.
එම පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධ නියෝගය හෙට පස්වරු 3.00 ට ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දහවන දිනටත් සලකා බැලුනා.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමඟ බැඳී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණු දක්වන බවයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කර සිටියේ.
මෙම නඩු ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණා.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු, පිළිගත් දේශපාලන පක්ෂ හා මීට පෙර ද විවිධ අවස්ථාවන්හී මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශව විසින් යැයි පෙන්වා දුන් බව සඳහන්.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඔවුන්ට කිසිදු නීතිමය බාධාවන් නොමැති බවයි ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා තර්ක කර සිටියේ.

Related

Top 9007668998016793154
item